එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීත්‍යානුකූල වීසා රහිතව රැඳී සිටින්නන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන පොදු සමා කාලය

       නීත්‍යානුකූල වීසා රහිතව එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ රැඳී සිටින්නන් හට නීත්‍යනුකුල නොවන ආකාරයෙන් රට තුළ රැඳී සිටීම වෙනුවෙන් වන දඩ මුදල් ගෙවීමකින් තොරව සහ ආපසු රටට ඇතුල්වීමේ හැකියාව සහිතව මෙරටින් පිටවීම සඳහා හෝ තව දුරටත් රට තුළ රැඳී සිටීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අලුතින් වීසා ලබා ගැනීම පිණිස වන පොදු සමා කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය විසින් 2018.08.01 දින සිට 2018.10.31 දින දක්වා වන කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම කාර්යය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Federal Authority for the Identity and Citizenship යටතේ ඇති ආගමන හා විගමන කාර්යාලය (General Direcortorate of Residency and Foreigners Affairs) මගින් අබුඩාබි හි Shahama, Al-Ain සහ Al Gharbia (Western Region) යන ආගමන කාර්යාලයන්හි මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මක කරනු ලබයි.

පොදු සමාව යටතේ සහන ලබා ගත හැකි අයදුම්කරුවන් සහ ඒ සඳහා අනුගමනය කළයුතු පියවර

අ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්

    මෙම පොදු සමාව යටතේ නීත්‍යානුකූල වීසා නොමැතිව රට තුළ රැඳී සිටීම වෙනුවෙන් වන දඩ මුදල් නොමැතිව සහ නැවත රටට ඇතුල් වීමේ තහනමකින් තොරව රටින් පිට විය හැකිවේ.

මෙහිදී අත්‍යවශ්‍යවන විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

1.නීත්‍යනුකූල වීසා නොමැති නමුත් වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හිමි අයදුම්කරුවන්

අයදුම්කරුවන් ඉදිරි දින 07 කාල සීමාව තුළදී රටින් පිට වීමට හැකි වන පරිදි ගුවන් ටිකට් පතක් ලබා ගෙන ඍජුවම ආගමන කර්යාලය වෙත ගොස් පිටවීමේ අවසර පත්‍රය (Exit Permit) ලබා ගෙන එදින සිට දින හතක්ඇතුළතදී රටින් පිට විය යුතුවේ.

  2.නීත්‍යානුකූල වීසා නොමැති සහ විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලසීමාව ඉකුත් වී ඇති අයදුම් කරුවන්

අයදුම්කරුවන් ප්‍රථමයෙන් අබු ඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය වෙත පැමිණ හදිසි පිටවීමේ අවසර පත්‍රය (Emergency Exit Permit) ලබා ගෙන ඉදිරි දින හතක කාල සීමාව තුළදී රටින් පිටවීමට හැකිවන පරිදි ගුවන්ටි කට්පතක් ලබා ගෙන ආගමන කාර්යාලය වෙත ගොස් පිටවීමේ අවසර පත්‍රය (Exit Permit) ලබා ගෙන එදින සිට දින 07 ඇතුළත දී රටින් පිට විය යුතු වේ.

3.නීත්‍යානුකූල වීසා නොමැති සහ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අයදුම්කරුවන්

අයදුම්කරුවන් ප්‍රථමයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ හදිසි පිටවීමේ අවසර පත්‍රය (Emergency Exit Permit)  ලබාගෙන ඉදිරි දින හතක කාල සීමාව තුළදී රටින් පිටවීමට හැකිවන පරිදි ගුවන් ටිකට්පතක් ලබාගෙන ආගමන කර්යාලය වෙත ගොස් පිටවීමේ අවසර පත්‍රය (Exit Permit) ලබාගෙන එදින සිට දින 07 ඇතුළතදී රටින් පිටවිය යුතුවේ.

4.සේවායෝජකයාගේ (Sponsor) නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැර වීම හේතුවෙන් ආගමන කාර්යාලය වෙත පැමිණිළි කරනු ලැබ ඇති අය (Thameem/Abscond)

ඉහත තත්වයන් මත පසුවන අයදුම්කරුවන් තහනමකින් තොරව නැවත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සඳහා පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා ප්‍රථමයෙන් ආගමන කාර්යාලය වෙත ගොස් ඩිරාම් 500 මුදලක් ගෙවා තම Thamem/Abscond තත්වය ඉවත් කරවා ගත යුතු වේ.

ඉන් අනතුරුව වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හිමි නම් ඍජුවම ආගමන කර්යාලය වෙත ගොස් පිටවීමේ අවසර පත්‍රය (Exit Permit) ලබා ගෙන වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැති නම් තනාපති කාර්යාලය වෙත පැමිණ හදිසි පිටවීමේ අවසර පත්‍රය (Emergency Exit Permit) ලබා ගෙන අනතුරුව ආගමන කාර්යාලය වෙතින් පිටවීමේ අවසර පත්‍රය (Exit Permit) ලබා ගෙන රටින් පිට විය හැකි වේ.

කෙසේ වුවද නැවත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සඳහා පැමිණීමට අපේක්ෂා නොකරන්නේ නම් තම thameem/Absconded තත්වය ඉවත් කරවා ගැනීමකින් තොරව වුවද රටින් පිටවිය හැකිවේ. 

පිටවීමේ අවසර පත්‍රය (Exit Permit) නිකුත් කිරීම සඳහා ආගමන කාර්යාල මගින් ඩිරාම් 220 ක මුදලක් අයකරනු ලැබේ.

    ආ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ තවදුරටත් රැඳී සිටීමට අපේක්ෂා කරන්නන්

අයදුම්කරුවන් නීත්‍යානුකුල වීසා නොමැතිව රට තුළ රැඳී සිටීම වෙනුවෙන් වන දඩ මුදල් ගෙවීමකින් තොරව නව වීසා ලබා ගත හැකි වේ.

මේ සඳහා අවශ්‍ය වන නව විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව අවදානය යොමු කළ යුතු වේ.

1.විදේශ ගමන් බලපත්‍රයේ ඉදිරි වලංගු කාලසීමාව අවම වශයෙන් මාස හයක් ඇති අය

අයදුම්කරුවන් ප්‍රථමයෙන් කම්කරු අමාත්‍යංශය (Ministry of Human Resources and  Emiratization) වෙත ගොස් ලියා පදිංචි වීමෙන් අනතුරුව ආගමන කර්යාලය මගින් ඩිරාම් 500 ක මුදලක් ගෙවා ප්‍රථමයෙන්  මාස 06 කාලසීමාවක් සඳහා පමණක් වලංගු වන තාවකාලික වීසා ලබා ගත  යුතු වේ. එම මාස 06 ඇතුළත දී අලුත් රැකියා වීසා ලබා ගත යුතුවේ.

2.විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලසීමාව ඉකුත් වී ඇති, විදේශ ගමන් බලපත්‍රයේ ඉදිරි වලංගු කාලසීමාව අවම මාස හයක් නොමැති සහ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අය.

අයදුම්කරුවන් ප්‍රථමයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර නව විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමෙන් අනතුරුව කම්කරු අමාත්‍යංශය (Ministry of Human Resources and Emiratization) වෙත ගොස් ලියා පදිංචි වීමෙන් අනතුරුව ආගමන කර්යාලය මගින් ඩිරාම් 500 ක මුදලක් ගෙවා මාස 06 කාල සීමාවක්ස ඳහා පමණක් වලංගු වන තාවකලික වීසා ලබා ගත යුතු වේ. එම මාස 06 ඇතුළතදී   අලුත් රැකියා වීසා ලබා ගත යුතු වේ.

විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුම් කිරීම සඳහා අදළ සියලුම ලේඛන ඉදිරිපත් කළ යුතු අතර ඒ පිළිබඳව වැඩි විස්තර තානාපති කාර්යාලයේ www.embassyofsrilankauae.com වෙබ් අඩවිය මගින් ලබා ගත හැකිවේ.

සේවා යෝජකයාගේ (Sponsor) නීත්‍යානුකුල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැර වීම හේතුවෙන් ආගමන කාර්‍යාලය වෙත පැමිණිළි කරනු ලැබ ඇති (Thameem/Abscond) අයෙකුට වුවද සිය Thameem/Abscond ඉවත්ක රවා ගැනීමෙන් අනතුරුව නව වීසා ලබා ගැනීම සඳහ ඉල්ලුම් කළ හැකිවේ.

කෙසේ වුවද විදේශ ගමන් බලපත්‍රය නොමැති අය තානාපති කාර්යාලය මගින් එය ඉල්ලුම් කිරීමට ප්‍රථමයෙන් අදාළ පොලිස් වාර්තාව ලබා ගත යුතු වේ.

නව විදේශ ගමන් බල පත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා ආගමන හ විගමන දෙපර්තමේන්තුවේ කාර්යක් වන අතර ඒ සඳහා සාමාන්‍ය වශයෙන් මාස දෙකක කාලයක් ගතවේ. කෙසේ වුවද පොදු සමාව යටතේ නව වීසා ලබා ගැනීම සඳහ අලුතින් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන අයදුම්කරුවන්ගේ නව විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා                      තානපති කාර්යාලය මගින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.

          විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාල සීමාව ඉකුත් වී ඇති විදේශ ගමන් බලපත්‍රයේ ඉදිරි කාලසීමාව අවම මාස හයක් නොමැති හා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අය නොපමාව නව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම මගින් ඇති විය හැකි අනවශ්‍ය ප්‍රමාදයන්    වලක්වා ගත හැකි වේ.

ඇ. නීත්‍යනුකූල විවාහයක් තුළින් උපත ලැබුවද, නිසි නීත්‍යානුකූල ලියාපදිංචියකින් තොර දරුවකු/දරුවන් සිටින මව්පියන්ට අදාළ දරුවන් නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පමණක් ඔවුන්ව මව්පියන්ගේ පුරවැසිභාවය හිමි රටට රැගෙන යාමට හැකියාව ඇත.

ඈ. යම් අයෙකුට එරෙහිව දැනට අධිකරණයක නඩුවක් විභාග වන්නේ නම් හෝ, මුදල් සම්බන්ධ සහ නේවාසික නොවන හේතුවක් මත අසාදු ලේඛන ගත කර ඇති (Black listed on financial or non residential issues) හෝ අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් අනුව කටයුතු කර අවසන්ව නොමැති විට හෝ, අධිකරණ නියෝගයක් මත රටින් පිටවීම තහනම් කර ඇති (Travel Ban) හෝ එවන් අයෙකුට පොදු සමාව යටතේ සහන ලබා ගත නොහැකිය.

සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා කලසීමාව තුළදී පහත නම් සඳහන් නිළධාරීන් ඇමතීම මගින් පොදු සමා කාලය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා හෝ වැඩිදුර පැහැදිළි කිරීම් ලබා ගැනීම සඳහා හැකියාව ඇත.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අබුඩාබි

එක්සත් අරාබි එමීර් රජ්‍යය

 

හර්ෂා රූපරත්න මෙය (දෙවන ලේකම්) Tel: 026322129
ශ්‍යාමල් රාජපක්ෂ මිය (තෙවන ලේකම් ) Tel: 026332271
විරාජිනී කාරියවසම් මිය (කොන්සියුලර් සහකාර) Tel: 026352460
මොහොමඩ් අන්හාරි මයා (භාෂා පරිවර්ථක ) Tel: 026316444 – 210
මොහොමඩ් ශියාම් මයා (භාෂා පරිවර්ථක ) Tel: 026316444 – 210
මොහොමඩ් හසීම් මයා (පිළිගැනීමේ නිලධාරී) Tel: 026316444
එම්. ජී.එම් ශ්‍යාමලී මිය (ලිපිකරු ) Tel: 026316444 – 205